Friday, March 11, 2011

අතීතයෙන් ගග ගලා බසී.... මහගම සේකර නම් සොදුරු මිනිසාගේ අතීතාවලෝකනය.. Mahagama Sekara.


සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්ථා ලොක්කෝ සහ පෙරකදෝරු‍වෝ
පීරා ඈතින් කෙස් ගෙනැත්
තට්ටය යාන්තමින් වසාගත්
රජයේ වර ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
ඡන්දයට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගෑනු
බැන්ද උස් කොන්ඩා හා
ඝන දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස්
ඉග දෙපසින් එල්ලෙන මස්
විජිනිපතින් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

සිටියෝ ගැටවර ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ළගු වෙනස නැති
තඩි ඔරලෝසු අතෙහිද
බැද තඩි පටි ඉනෙහිද
ඇද නෙක සාක්කු ඇති හිර කලිසම්
මිනි ගවුම් හා බෙල් බොටම්
යන එන මගක් නොම දැන
අතරමං වූවාක් මෙන්

උන් ප්‍රබුද්ධගෙන් මෙසේ ඉල්ලා සිටී

ආරංචියි artist කෙනෙක් කියල. කියමුකෝ සිංදුවක්..

එවිට ප්‍රබුද්ධ,
ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමලවාසිනී...

නමුත් උන්ට එය රිසි නොවෙයි.

“පොප් ගීයක් , පොප් ගීයක්”
සියල්ලෝම හඩ නැගූහ
“ඒව එපා”

මිනි ගවුම, බෙල් බොටම නැති වුනත් මහගම සේකරයන් මේ කියා පාන්නේ අද ගැනම යැයි මට සිතෙන වාර අනන්තයි. කණගාටුවට කරුණ අද එවන් ගැහැනුන් එවන් මිනි ගවුමකින්වත් තම විලි වසා නොගැනීමයි. එදා ලාංකේය දරු දැරියන්, සන්නිවේදනය අද මෙන් දියුණුව නැතත්, ගුවන් විදුලිය තුළින් මිහිරි කවි ගී රසවින්දෝය. ඒ තුළින් ඔවුන්ගේ රසවින්දනය දියුණු විය. නමුත් අද අපට සිදුව ඇත්තේ මෙවන් දියුණු සන්නිවේදනයක් සහිත කාලයක වුවත් බහුතරයක් පුස් රේඩියෝ සහ රූපවාහිනී චැනල ඔස්සේ, සේකරයන් සදහන්කල එවන්ම පුස් පොප් ගී අසා සිටින්නටයි. අපට සිදුව ඇත්තේ එවන්,ගී යැයි කියාගන්නා ඒවා විදින්නට නොව අසා විදවන්නටයි. අද සුළුතරයක් වන සුගායනයන් හිමි ගායනවේදීන් ඇතුළු කලා කරුවන්ට ද හිමිව ඇත්තේ එදා සේකරයන්ගේ මනසෙහි මැවුණු ප්‍රබුද්ධට සිදුවූ දෙයට නොදෙවෙනි දෙයකි. අද ශ්‍රී ලංකාව නියෝජනය වන්නාවූ ජාත්‍යන්තර ස්ථානයන්හී දී පවා එවන් ගායකයන් යැයි කියා ගන්නා වුන් පර බසකින් නන්දොඩවමින් කරන උසුළු විසුළු වලට සිනා සීමටවත් නොහැකිය.

“....මගේ කේන්දරය හැදුවේ ජුවානිස් ආතායග වර්ෂ 1929ක් වූ අප්‍රේල් මස හත්වන ඉරුදින දහවල් හිටි පියවරට ජන්ම ලාභය ලත් කුමරුවා, වගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණෙන්නට පුළුවන්. දහඅටේදී විතර හුගක් අපලයි. හැබැයි ඒක පන්න ගත්තොත්, නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි..”
ඔන්න ඔහොම තමයි “තුංමංහන්දියෙ” කතා නායකයගෙ,රණතුංග ආරච්චිලාගේ සිරිසේනගෙ ජන්ම පත්‍රය ලියවිල තියෙන්නෙ. නමුත් කරුණු හොයල බලනවිට වැටහෙන්නෙ ඒ හැම කරුණක්ම අපේ කතා නායකය වෙච්ච “මහගම සේකර” සුප්‍රසිද්ධ කවියගේ ජීවිතයමයි කියල. තුංමංහන්දිය නව කතාවෙන් සේකරයන් කියාපාන්නට උත්සහ කරල තියෙන්නෙ බොහෝදුරට තමන්ගෙම ජීවිත කතාවට සමාන එකක්. සේකරයන් ඉපදිල තියෙන්නෙත් 1929 අප්‍රේල් හත්වනදාකමයි. ජුවානිස් ආතගෙ අනාවැකියත් ඇත්ත වුණා කියල මම වගේම ඔබත් දන්නව. ඒත් සේකරයන් නඩුකාරයෙක් නොවුන්ත් ඊට නොදෙවෙනි තරමටම මේ රටේ බැබළුනා.

සේකරගෙ උපන් බිම වුනේ, එදා කොළඹ දිස්ත්‍රික්කයට අයත්ව අද ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වෙන සියනෑ කෝරලයෙ, රද‍ාවාන,මහවත්ත ප්‍රදේශය. සිරිසේනගෙ උපන් බිමත් ඒකමනෙ. රද‍ාව‍ානෙ තුංමංහන්දියෙ ඉදල කිරිදිවැල පාරෙ සැතපුමක් විතර දුර යන විට පාරෙන් වම් පැත්තට වන්නට මහවත්ත හමුවෙනව.මේ පින් බිම සේකරයන්ට පතිරූපදේශයක්ම වනව.ඔහුගෙ කවිසිත සරසන්නට සමත් වුණු ගහකොළ, සතා සීපාවන්, ඇළ දොළ මේ බිමේ සුන්දර දසුන් මවන්ට සමත් වුණා.සේකරයන්ට තමන්ගෙ දෙමවුපියන්ගෙන් ලැබුණූ නම වුණේ “මහගමගේ සමරසේකර”. නමුත් ඒ නම “මහගම සේකර” වෙන්නෙ උප්පැන්න සහතික නිකුත්කිරීමේ නිළධාරීන්ගෙ ප්‍රමාද දොශයක් නිසාවෙන්. රදාවානෙ රජයේ පාසලෙන් සහ කිරිදිවැල රජයෙ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන සේකර 1945 වසරෙදි රජයේ ලලිත කලායතනයට බැදෙනව. ඉන් පසුව නිට්ටඹුවෙ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබන එතුමා තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ චිත්‍ර කර්ම ගුරුවරයෙක් හැටියට. ඉන් පසුව සේකරයන් භාෂා පරිවර්තකයෙකු, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකවරයෙකු,ලලිත කලායතනයෙහි විදුහල්පති වරයෙකු වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ සෙන්දර්ය ඒකකයෙහි ප්‍රධානියෙකු හැටියටත් කටයුතු කර තිබෙනව.

රදාවානෙ මහවත්තෙ, මහගමගේ ජෝන් අප්පුහාමි, එනම් සේකරගෙ ආදරණීය පියාණන් සේකරගෙ නිර්මාණ ගැන සදහන් කරන්නෙ මේ විදිහට.
“..පුතාගෙ තුංමංහන්දිය පොතෙත්, මනෝමන්දිර පොතෙත් කියවෙන්නෙ මායි පුතයි ගැන. ලොකු මාම කියන්නෙ මං. සිරිසේන කියන්නෙ පුතා. මගෙයි එයාගෙයි කියුම් කෙරුම් තමයි ඒ ඔක්කොම..”

මෙයින් අපට කියාපාන්නෙ පිය පුතු සබදතාවය කොතෙක්ද කියල. සේකරගෙ නිර්මාණ ජීවිතයට තමන්ගෙ පියාගෙන් ලැබිල තියෙන ආභාශය කොතෙක්ද කියලත් අපට හිතාගන්නටත් අපහසුයි. ඒ හැමදෙයක්ම දකින මට සේකර ගැන ලෝබ හිතෙන්නනෙ, මටත් එහෙවු තාත්තෙක් හිටියනම් කියල හිතෙන වෙලාවට. සේකර තමන්ගෙ අවසාන කෘතිය වුණු “ප්‍රබුද්ධ” මහා කාව්‍ය තමන්ගෙ දෙමවුපියන් වෙනුවෙන් පුදන්නෙ මෙන්න මේ විදියට..

“විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කව කටුව දිග රූල
ඇද නේක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකුටු නියනින්
විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට”

“ඇවිද ලදුදෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නේක රටා විසිතුරු පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියාදුන් අම්මා ඔබය”

සේකර කාව්‍යකරණයට මෙන්ම චිත්‍රකර්මයටත් අති දක්ෂයෙක්. සේකරයන්ගෙ ඒ දස්කමත් විකසිත වන්නට තමන්ගෙ දෙමවුපින්ගෙ ශක්තිය ලැබුණ. සේකර කුඩා කාලයෙ විවිධ ස්වභාවික මාධ්‍යයන් තමන්ම සාදාගෙන, ගෙදර බිත්ති පුරාවට විවිධ සිතුවම් අදිද්දි සේකරගෙ අම්ම ඉවසුවෙ නැත්නං ඒ චිත්‍ර ශිල්පියාගෙ ගමන එද‍ා එතැනින්ම නතරවෙන්න තිබුණ.

සේකරයන් කාව්‍යකරණයට පිවිසෙන්නෙ එතුමාගේ හොදම යහළුවෙක් වුණු කේ. ජයතිලකයන් සමග එක්ව කල “ව්‍යංගා” කාව්‍ය කෘතියත් සමග. ඉන් පසුව “සක්ා ලිහිණි” “හෙට ඉරක් පායයි” “මක් නිසාද යත්” රාජතිලක‍-ලයනලි සහ ප්‍රියන්ත” “බෝඩිම” “නොමියෙමි” යන ඉතා විශිෂ්ඨ කාව්‍ය කෘති රචනයෙහි යෙදෙන්නට සේකරයන්ට පසුබිම සැකසෙනව. සාමාන්‍යයෙන් කෙනෙක් රෝගාතුර වෙලා රෝහල් ගත කරපු අවස්ථාවක ඒ කෙනාට සිද්දවෙන්නෙ ඇදකටවෙලා විවේකීව ඉන්න. නමුත් සේකරයන් “නොමියෙමි” කාව්‍ය කෘතිය රචනයෙහි යෙදෙන්නෙ අසනීප තත්වයක් නිසා රෝහල්ගත වෙලා හිටි අවස්ථාවක. සේකරයන්ගෙ කාව්‍යකරනයෙහි මුදුන්මල්කඩ ලෙසට හදුනගන්නෙ, ඔහුගෙ කාව්‍ය දිවියෙහි අවසාන නිමැවුම වුණු “ප්‍රබුද්ධ” කාව්‍ය. මා මේ ලිපිය ඔබ වෙනුවෙන් ලියන්නට පූර්විකාවක් කොටගත්තෙත් ඒ විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයෙහි එන සුවිශේෂී කොටසක්.

“මහගම සේකරයන්ගේ පරිනත කවිත්වයෙහි අග්‍රඵලය “ප්‍රබුද්ධ” කාව්‍යයයි. පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියේත් සහජයෙන් ලද භාෂධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිබිඹු වේ” (මහාචාර්ය විමල් දිසානායක - ප්‍රබුද්ධ, පසුවදන)

නූතන සිංහළ කාව්‍ය සහ සිංහළ සුභාවිත ගීතය යහමින් ඔපමට්ටම් කල සේකරයන් ජන කවිය සහ නිදහස් කවියට නව අරුතක් ලබා දීමට කටයුතු කලහ. සේකර-අමරදේම සුසංයෝගය ලාංකේය සිංහළ ගීය තුළ නව මගක යමින් නොමැකෙන සටහන් තබන්නට සමත්වීය. “සිනිදු සුදු මුතු තලාවේ” “අතීතයෙන් ගග ගලා බසී” “ඔබේ නමින් සෑය බදිමි” “මළ හිරු බසිනා සැන්දෑ යාමේ” ආදීවූ ගීත එහෙවු ගී පද සිය ගණනක් වෙනුවෙන්වූ නියෝජනයක් කොටගනිමි.

1929 අප්‍රේල් මස මෙන්ම 1976 ජනවාරි මස සේකර රසික ඔබට මට නිතර සිහි ගැන්වෙයි.

“ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය පිළිබද සටහනක් ද තිබූ අතර, පෑන පසෙක වැටී තිබුණා”
ඔහු නික්ම ගොස් තිබිණි...
හිමිගිරි කුළු ඉහළ නැගි වලා සිඹින
අහස පොළව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැග බැස පාවී යන
සිහින මුවා අසු පිට නැග
සතර කතර ගිම් සනහන
“මරණී” නම් කෙම්බිම වෙත”

“මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි”

මේ මහගම සේකර නම් මහා සාගරයෙන් ගත් එක් දිය බිදක් පමණි...

1 comment:

  1. පාට බල්බ් දැමූ වේදිකාවක
    එස්.එම්.එස් ගහල
    සේකරව........
    සුපිරි රැයක
    සුපිරි තරුවක් කලා නම්
    උන් සේකරව
    හෙලිකොප්ටරේ දාගෙන
    මහගමසේකර ස්කෝලෙන්
    අරන් එයි.
    ඒත් වැඩක් වෙන එකක් නැහැ....
    මගින් බස්සයි.......
    උන් "ප්‍රබුද්ධට" කැමති නැහැ.
    යුගයේ ආදරනීය නවකථා කරුගෙ
    පොත් ගොඩක් ඇත.....
    සෙව්වෙමි......
    පොත් ගුලේ ප්‍රබුද්ධව.....
    නැත.......?
    පුදුමද නැත......

    ReplyDelete