Friday, March 11, 2011

ලංකා ගුවන්විදුලියේ තවත් එක් නිමැවුමකි, ඩෝල්ටන් අල්විස්.. Dolton Alwis


මහගම සේකර, මඩවල එස් රත්නායක සහ ‍ෙඩාල්ටන් අල්විස් යන මේ සොදුරු ත්‍රිත්වය, එකම කාලයක විසූ, එකම අදහස් දැරූවන් බවට ප්‍රසිද්ධයි. අද මතක තොටුපළ අද්දර අකුරුකෙරෙන්නේ “ඩෝල්ටන් අල්විස්” සොදුරු කවියාගේ සොදුරු මතකයන් වෙනුවෙන්.

ඩොල්ටන් අල්විස් වන මේ මහා නිර්මාණකරුවත් ලංකා ගුවන්විදුලියේ තවත් එක් නිර්මාණයක් වනව. මා මුලින් සදහන් කළ කවීන් දෙදෙනාගෙ කවි, කවි පොත් තුළින් අපට දැකගන්නට, කියවා රසවිදින්නට හැකියාවක් ලැබුනත් ඩොල්ටන් අල්විස් නාමයෙන් ලියැවුණු කවිපොතක් කියවන්නට ඔබට මට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඔහුගෙ කවි කියවන්නට ඔබට අවැසි වුවහොත් ජාතික පුස්තකාලයෙ හරි වෙනත් පුස්තකාලයක හරි පරණ පත්තර පිටු අතරට යන්නටම සිදුවනව.ඔහුගෙ කවි නිර්මාණයන් පළවුණේ පුවත්පත්වල,සගරාවල පමණයි.

නිතර දෙවේලෙ ගුවන් විදුලියේ සමහර මාධ්‍යයන් වලින් ඩොල්ටන් අල්විස් කවියා රචනා කල ගීත ප්‍රචාරය වුණත්, ඒ ශිල්පීය නාමය නම් අපට අහන්නට ලැබෙන්නෙ බොහෝම කලාතුරකින්. නමුත් 60, 70 දශක යනු මෙරට ජනතාව අතර ඩොල්ටන් අල්විස් නාමය හොදින්ම පැලපදියන් වුණ යුගයක්.ඔහුගේ ගී නිර්මාණ බොහොමයක්ම ගුවන්විදුලි නිර්මාණ. වෙන්ත් රචකයින් මෙන්ම ඩොල්ටන් අල්විස් නිර්මාණ කරුවත් චිත්‍රපට ගීත රචනයෙහි යෙදුනත්, ඔහුගේ දක්ෂතාවයන් නිසිපරිදි හදුනා නොගත් චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් නිසා එම ගීත ජනප්‍රිය වුයේ නැහැ.

අරලියා මලේ මල මුදුනින් එන ළඳු නේ
අරලිය සුවඳ ළමැදේ මුමුණන ළඳු නේ
යන කල ළිඳට මගෙ ළය මිදුලෙන් ළඳු නේ
යටි පතුලෙන් කවි ලියලා යන ළඳු නේ
(අරලිය මලේ කවිය)
මේ ඩොල්ටන් අල්විස් කවියාගේ විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක්.
“යටි පතුලෙන් කවි ලියලා යන ළඳුනේ” මොන තරම් අපූරු යෙදුමක් ද? මේ පෙම්වතිය පෙම්වතාගේ ගේ මිදුලෙන් යන කොට මිදුලෙ ඇඳෙන යටි පතුලේ සළකුණ තමයි, පෙම්වතා තුළ කවි කල්පනා පහළ කරන්නේ! (සුනිල් අරියරත්න)

ඩොල්ටන් අල්විස්, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් සම්පාදක වරයෙක් වුණා. දහසය අවුරුද්දක්ම ගුවන්විදුලියෙහි සේවහ කළ ඔහු “පංච මදුර” , “විජය ගීත” වැනි විශිෂ්ඨ වැඩසටහන් තුළින් ජන හදවත් තුළට පිවිසියා. “රන් දහදිය බිංදු බිංදු” යන පණ්ඩිත් අමරදේවයන් ගයන ඒ මියුරු ගීතය නිර්මාණය වෙන්නෙ මේ කාලයෙදිමයි. ඒ 1965 වසර. “ගොවිතැනින් රට ස්වයංපෝශිත කිරීම” මේ එක් දිනක් ඩොල්ටන් අල්විස්, ගුවන්විදුලි වැඩසටහන් සම්පාදක වරයා වෙත වැඩටහනක් සම්පාදනය වෙනුවෙන් ලැබුණු තේමාවක්. ඒක ලොකු අභියොගයක්. නමුත් ඩොල්ටන් අල්විස් වැඩසටහන් සම්පාදක වරයා හට එය එතරම් දෙයක් නොවුන වග නම් පැහැදිළියි. එම වැඩසටහන වුණේ “විජය ගීත” නම් වැඩසටහන. “රන් දහදිය” ගීතය රචනා වන්නෙ එම වැඩසටහන වෙනුවෙන්. මේ ගීතය එකළ තරුණ පරම්පරාව නැවතත් උදැල්ල කරට ගෙන කෙතට බසින්නට, සොදුරු වූ බලපෑමක් කරන්නට වුණා. ඩොල්ටන් අල්විස් ගී පද රචකයා එකළ තරුණයා නැවතත් කෙතට කැදවන්නෙ, කෙතේ නෙළන ළඳුන් නැමැති ඉනා බෙහෙත පොවමිණි.
“රන්වන් කෙත නෙළන ලියේ
රන් ගෝමර පැළඳි ලියේ”


ඩොල්ටන් අල්විස් කවියා, අපේ සොදුරු මිනිසා ඉතාමත් සරළ වූ දිවිපෙවෙතක් ගෙවූ අයෙක් වුණා. ඔහුගේ සරළ චාම් ඇදුම, ගමන බිමන, කතා බහ තුළින් වගේම ඔහුගේ සරල වූ වචනත් ඒ වග තහවුරු කරනව. ඔහුගේ නිර්මාණයන් තුළ වූ වචන ඉතා සරළව දිස්වුවත් ඉන් වහනය වන්නේ ඉතාමත් ගැබුරුවූත් සාරවූත් අදහස්. ඔහුගේ නිර්මාණයන් තුළ ඇති තවත් වැදගත් බවක් වන්නේ, අපූරු වියත් බසක් ගලායන පරිදි ඉදිරිපත් කිරීමයි. ඔහු‍ගේ සෑම පද මාලාවක්ම “ගැයියහැකි” බවින් යුතු වූණා.

නූතනයේ අපට බහුතරයක් හිමිවන්නේ එක් රැයකින් පිපී පරවීගිය මල් සංස්කෘතියකි. අරලියා මල, ඇපල් මල, ඇන්තූරිම් මල පමණක් නොවෙයි කෙසෙල් මලට පවා ලියැවූණු, කර්කෂව ගැයුණු කෙහෙම් මල් ගීත තමයි අපට මේ කාලයේ අසන්නට ලැබෙන්නෙ.(සමස්තයම නොව) අද සමහර ගුවන්විදුලි ගිරා පොවුවන්, රස කර කර තලු මරන්නේ මෙවන් අවර නිර්මාණයන් පමණි. අපේ කවියාත් තුං තුඹ මල්, බකිණි මල්, අත්තන මල් ගැන ලියුවේය.නමුත් කිසිකෙනෙකු නොදුටු මෙවන් මලක් පිළිබදවත් ඩෝල්ටන් අල්විස් කවියා අප වෙනුවෙන් ලියා ඇත.

හිතේ පිපෙන මල්
හිත රිදවන මල්
අනේ කුමට පිපෙනවා ද
අහක බලන මල්
ගමේ පිපෙන මල්
හිනා කැළුම් මල්
එවන් සුවඳ සියුමැලි මල්
නිහතමානී මල්
කටු අකුලේ මල්
නෙළන්න බැරි මල්
කිසිමදාක හිනා නො වෙන
අහංකාර මල්

ඩෝල්ටන් අල්විස් කවියා රචනා කල “සසර වසන තුරු” ගීතය අසන අප කාටත් අප ශ්‍රී ලංකා මාතාව පිළිබදව නැගෙන සිතිවිල්ල කියා,ලියා නිමකල නොහැකිය.ඒ අප කවියාගේ විශිෂ්ඨත්වයයි.
මේ , අප ගේය පද රචකයාණන් රචනයෙහි යෙදුණු ගී නිර්මාණයන් අතරින් කිහිපයකි.

(01)සුමුදු සුව දෙන සිහින යහනේ තාරකා ඇස් වට වෙලා
ම දෙස බලමින් කරන කසු කුසු මට ඇසේ - මට ඇසේ
(02) මුතු මාල රුවන් පට සේල නැතත් - මට සෝක තැවුල් නො වෙමි
(03) නයන කඳුළේ ගී ලියන්නේ කාටදෝ
(04) තුං තුඹ මල් රෙද්ද ඇඳලා බංදි වළලු දෑත දමාලා
(05) ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑන මගේ
(06) නීල සසල ඔබේ දෑස කාවද මේ හොයන්නේ
(07) නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොය ගෙන හෙමින් ආවා
(08) ඔබට මතක නෑ මට මතකයි පහුගිය වසන්ත කාලේ
(09) චාමර පවන් සලා - නීල වරළ මුහුල එළාලා
(10) මගේ නීල නෙතු සඟලින මොනවද ඔබ ඉල්ලන්නේ
(11) මගේ දෑත ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා
(12) කවුරුදෝ අර කවුළුවෙන් සිනා සී එබිකම් කළේ
(13) හදේ සුසුමක් පතිත වීමෙන් බකිණි මල් පෙති පර නො වේවා


හදවත! උඹ මගෙන් අවි ඉල්ලන්න එපා
මේ හඳ එළිය ඇති, ගිනි දල්වන්න එපා
කවි ලියනා මගෙ අත අල්ලන්න එපා
සාමයෙ බිළිඳු නිදි, ඇඳ හොල්ලන්න එපා


ඩෝල්ටන් අල්විස් කවියාගේ පැතුම...‘සසර වසන තුරු - නිවන් දකින තුරු පිං කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා!’යන්නයි. මාගේ අහිංසක පැතුමත්, ඩෝල්ටන් අල්විස් වැනි කලා කාමීන්, සොදුරු නිර්මාණකරුවන්ගෙන් පිරි, පිං කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වෙන්නටයි !

No comments:

Post a Comment