Friday, January 28, 2011

නොහැගවූ ආදරය.. The Unexpressed LOVE


කරුණාසේන ජයලත් ශූරීන්


ප්‍රධාන මාර්ගයෙන් කිලෝ මීටර භාගයක් පමණ පැමිණි විට, හොරණ පොකුණුවිට හන්දියට පැමිණ “කරුණාසේන ජයලත්” මාවතේ ඉදිරියට ඇදෙන ඔබට හමුවන්නේ දැනට වසර කිහිපයකට උඩදී ගොළු වූ ,සුන්දර හදවතක් හිමි මිනිසෙකුගේ නිවසකි. ඒ අන් කවරකුවත් නොව. පුවත්පත් කලාවේදියකු,නව කතා කරුවකු,සිනමා විචාරකයකු මෙන්ම තිර නාටක රචකයකු ද වූ කරුණාසේන ජයලත් ශූරීන්ය.

“දම්මි සුගත්” ආදර කතාව ඔස්සේ ලාංකේය රසික හදවත් වැලදගත් කරුණසේන ජයලත් ශූරීන් හැට,හැත්තෑව දශකයන් හීදී ලක් කලා ලොවට පෑයූ තවත් එක් සුපුන් සදකි.
ඔහුගේ “ගොළු හදවත” නව කතාව මුල් කාලයේ දී විචාරකයින්ගේ පැසසුමට ලක් නොවීය. ඔවුන් එය නම් කලේ තවත් එක් බොළද ප්‍රේම කතාවක් ලෙසිනි.නමුත් ගොළු හදවත නව කතාව, පරම්පරා හතරක පාඨකයා, දෙතුන් වතාව පවා ආශවෙන් කියැවූයේ එම විචාරයන් ද බොරු කරමිනි.දම්මි සුගත් යුවල අදටත් අප තරුණ සිත් සතන් තුළ ජීවමාන වන්නේ එහි ඇති බොළද බව නිසා නොවේ යැයි,ඔබ මා හා එකග වනු ඇත. ගොළු හදවත,බඹා කෙටූ හැටි,ගැහැනු ළමයි වැනි නිර්මාණයන් තුළින් කරුණසේන ජයලත් ශූරීන් සිංහල සාහිත්‍යයේ යොවුන් සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උත්සුක වූ නිර්මාණකරුවෙකි.
ඔහුගේ පුද්ගලික තොරතුරු සොයාබලන කල,
එතුමාගේ ආදරණීය බිරිද වූයේ රූපා අමරසිංහ මහත්මියයි. “අමරජය” නමින් ඔහු, ඔහුගේ නිවට නම් තැබූයේ ඔවුන් දෙදෙනාගේ නම්වල කොටස් එකතුවෙනි.ඔවුන් දෙපලට පුතුන් තිදෙනෙකු ද විය.

ගොළු හදවතින් ඇරඹුනු ඔහුගේ නව කතා 15කට ආසන්නව විය.
• ගොළු හදවත
• බඹා කෙටූ හැටි
• මුව දඩයම
• ලස්සන ඇස්
• ගැහැණු ළමයි
• පිරුණු හදක්
• යහළු යෙහෙළි
• මව සහ දුව
• ඇවැස්ස නෑයෝ
• හතුරු හිතක්
• රිදී නිම්නය
• සතීගේ කතාව
• කුල කුමරිය
ඉන් කිහිපයකි.

විචාරක අදහස් කෙසේ වුවද ඔහුගේ නව කතා රැසකටම රාජ්‍ය සම්මාන පවා හිමි කරගැනීමට සමත් විය.එතුමාගේ නිර්මාණ ඇසුරින් වඩාත්ම ජනප්‍රිය වූයේ 1962 රාජ්‍ය සම්මාන දිනූ “ගොළු හදවත” නම් යොවුන් නව කතවයි.එය ආදරය පිළිබද සොදුරු ප්‍රකාශනයක් ලෙසින් එකල කලාකාමීහු නම් කර සිටියේ එහි ඇති නිර්මාණාත්මක ගුණය නිසාවෙන්මය. සුමිත්‍රා පීරිස් සංස්කරණයෙන්,ලෙස්ටර් ‍ෙජම්ස් පීරිස් විශිෂ්ඨ අධ්‍යක්ෂණයෙන්,ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1968දී තිරගත වූ “ගොළු හදවත” සිනමා නිර්මාණය එකල මෙන්ම අදත් රසික ජනාදරයට පාත්‍රවූයේද ඒ නිසාවෙනි. එමෙන්ම ඔහුගේ ගැහැනු ළමයි, රිදී නිම්නය, බඹා කෙටූ හැටි ආදී වූ නිර්මාණයන් ද සුනිල් ආරියරත්න,ඩී.බී.නිහාල්සිංහ ආදී වූ මහා නිර්මාණකරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට නැගිනි.

එමෙන්ම සමසමාජ අදහස් දැරූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීයෙකු ද විය.ඔහුගේ පවුලේ උදවියගේ අදහස වන්නේ, දේශපාලන කටයුතු නිසා ඔහුගේ නිර්මාණ දිවියට බාධාකාරී වූ බවයි. ගොළු හදවත තුළින් දමයන්ති සහ සුගත් වීරසේකරට පණ දුන් කරුණාසේන ජයලත් නිර්මාණකරුවා මිය යන විට ඔහුට වයස අවුරුදු 64කි.

කරුණාසේන ජයලත් ශූරීන්ගේ "ගොළු හදවත" නිර්මාණයෙන් ඔබේ රසවින්දනයට....


ස් ! ස් !
නැවතත් ඒ ශබ්ධය නැගිණි.ශබ්ධය පැමිණි දිශාව දැන් නිශ්චිතය.ඔහු කෙලින්ම දමයන්ති දෙස බැලුවේය. ඈ මිට මෙළවුණු දෙයක් ඔහු දෙස දික්කර ගෙන “ඕනෑදැ”යි ඇසුවාය.
“මොනවාදැ”යි ඇසීම තීරණට කිරීමට ඔහු අපො‍හොසත් විය. නැගිට ඇය වෙත ගිය ඔහු අත පෑවේය. ඈ වෙරළු ගෙඩි හතරක් පහක් ඔහුගේ අත්ල මත තැබුවාය.
ඔහුට ඇගිල්ලක සීතල ස්පර්ශයක් දැනී ගියේය.


“දෙන්න මට ඔයාගෙ අත. මට මේ පාර පුරුදුයි හොදට”. ගලකට නැග ගත් ඈ අමාරුවෙන් කන්ද නගින ඔහුට කීවාය.
“නෑ මටත් මේ පාර පුරුදු නැතුවට කදු නැගල හොදට පුරුදුයි”. කියිමින් ඔහු ඇය සිටි තැනට ලංවිය.
ඈ සිනාසෙමින් ඔහුගේ අත අල්ලා ගත්තාය.
“ලැජ්ජ වෙන්න එපා කෙල්ලෙකුගෙ උදවුවෙන් කදු නැග්ගට.බැරි කමට මොනව කරන්නද”
ඹ් හතිය මැඩ ගනිමින් සිනාසුනාය.


"ඇය සැබවින්ම සුගත්ට ආදරය කළාය. සුගත් බාල කාලයේදීම ඇය නිහාල් නමැති ඥතියාට විවාහ කර දෙන්නට මව්පියන් තීරණය කර තිබිණි. එය සෘජුව සුගත්ට පවසා තමා අත් විඳිමින් සිටින චමත්කාරයෙන් අත් මිදෙන්නට ඈ නොකැමති වූවාය. පාසලෙන් අස්‌වී යන දිනයේ ඇය සුගත්ගෙන් සමුගත්තේ වැළපෙන හදවතින්ය. දම්මි සුගත් ගේ ජීවිතය සමග සෙල්ලම් කළාය. ඇයට ඔහුව අවශ්‍යව තිබිණි..


මෙහි ඡායාරූප ස්වකීය ඒවා නොවන අතර,මුල් නිර්මාණ කරුවන්ට මාගේ ප්‍රණාමය !

Thursday, January 27, 2011

ඔබ මළ බව ඇත්තක් වූ බොරුවක්ය.. Premakeerthi De Alwis



මාගේ මීලග මතක දිගහැරුම වන්නේ 60,70 දශකයන්හී ලාංකේය කලා අඹරෙහි පෑයු තවත් එක් සුපුන් සදක් පිළිබදවය.ඔහු සිරුරින් හැඩිදැඩි මිනිසෙකු නොවුනත් ලාංකේය කලා කෙත පොෂණය කිරීමෙහිලා කැපවුණු මහා යෝධයෙකු ලෙසින් හැදින්වීමට පැකිලිය යුතු නොවේ.ඒ අන් කිසිවකු නොවේ.ලාංකේය ගීතය ඉහළින් ඔසවා තබමින් තම නිර්මාණ කාර්යයෙහි නිරතවුණු,ගුවන්විදුලියෙන් ලක් අඹර ජයගත් ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොදුරු මිනිසාය.

පණ්ඩිත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ,ජේ.ඒ.මිලටන් පෙරේරාගේ,බෙග් මාස්ටර්ගේ ගීයක් අසන ඔබට,මට නිතැතින්ම සිහිගැන්වෙන නාමයක් ලෙස ප්‍රේමකීර්ති නාමය කීර්තිමත් නාමයක් වනව.ඒ විතරක් නොවෙයි.ඔහුගේ ගී පද විකට නළු ප්‍රෙඩී සිල්වා හඩින්ද ගැයුණි.ප්‍රෙමකීර්ති ප්‍රේම ගීතයට පමණක් සීමා නොවී විවිධ සමාජ පැතිකඩයන් ස්පර්ෂ කරමින් ගීත රචනාවෙහි නිරත වූ බව මින් පැහැදිළි වනව.වික්ටර් රත්නායකයන්ගේ මුදු පරම සුපිවිතුරු ගීතය මෙන්ම ප්‍රෙඩී සිල්වාගේ ආරොන් මාමා ගීතයෙහි රස මිහිර විදින අපට එය මනාවට පැහැදිලිය.ඔහුගේ ප්‍රථම ගීතය රචනා වන්නේ 1969 වර්ෂයේ.ඒ මල්කාන්ති නන්දසිරි සහ රූපා ඉන්දුමතී යන ගායිකා දෙපල වෙනුවෙනි.ගීත රචනයේදී ගැබුරු අදහස් සරළ වචනයෙන් රසිකයා අතරට ගෙන යාමට ප්‍රෙමකීර්ති සමත්කමක් දැක්වූහ.

ඔහුගේ ජීවන තොරතුරු සොයා බලන කල,
ප්‍රේමකීර්ති ඔවුන්ගේ පවුලේ දෙවැන්නා වීය.ඔහුගේ මූලික අධ්‍යාපනය මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ලබාගෙන,ඉන් අනතුරුව මරදාන ආනන්ද විද්‍යාලය වෙත පිවිසෙන්නේ ද්විතික අධ්‍යාපනය වෙනුවෙනි.පාසල් යන අතරතුර ඔහු පාසලේ ධර්ම ජයන්ති නම් මාසික පුවත් පතෙහි සම සංස්කාරක වරයෙකු වශයෙන් ද කටයුතුකොට ඇත.ඔහුගේ පියාට අවශ්‍යව තිබුනේ ප්‍රේමකීර්ති ද තමා මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සේවය කරනු දැකීමයි.නමුත් කුඩා ප්‍රේමකීර්ති එකල ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයින් අනුකරණයේ යෙදෙමින් සිහින මැවූයේ ගුවන් විදුලි නිවේදකයකු වීමටයි.

ඔහුගේ ගුවන් විදුලි දිවිය ඇරඹෙන්නේ 1961 වර්ෂයේ දීය.ඒ වන විට ඔහුට වයස අවුරුදු 13ක්.මුලින්ම ඔහු ගීත ගායනයට සම්බන්ධ වුවත් ඉන් සමත් වන්නට නොහැකි වනව.පසුව ඔහු ගුවන් විදුලියෙහි පිටපත් ප්‍රකාශකයෙකු බවට පත්වනව.තමාගේ ගුරු දේවයාණන් වූ කරුණාරත්න අබේසේකරයන් සමග ළමා පිටිය ඇතුළු විවිධ ළමා වැඩසටහන් වලට සම්බන්ධ වීමට ඔහුට හැකියාව ලැබෙන්නෙ මේ අවදියේමය.1976 වර්ෂයේ දී ඔහු ගුවන් විදුලි සහන නිවේදකයෙකු ලෙස පත්වීය.ඔහුගේ චතුර වදනින් ලක් අඹරෙහි රැවුදුන් ගුවන් විදුලි වැඩසටහන් ලෙස සැරිසර පුවත් සගරාව,ශනිදා සන්ද්‍යා වැනි වැඩසටහන් එකල ඉතාමත් ජනප්‍රිය වූහ.

කවි,ගීත රචකයෙකු,ප්‍රවීන ගුවන් විදුලි නිවේදකයෙකු වූ ඔහු එකල විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු බවට පත් වන්නේ සමාජය නැමැති විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ස්වකීය අත්දැකීම් ඔස්සේ බව සිහිපත් කල යුතුමය.ඔහුගේ ගීයට,කවියට මුල් වන්නේ එලෙසින් උකහාගත් ජීවන අත්දැකීම්ය.එමෙන්ම ලාංකේය ගීතක්ෂේත්‍රයට උපහාර ගී සම්ප්‍රදාය තිළිණකලේ ද ප්‍රෙමකීර්ති විසිනි.

1989 ජූලි 31 දින අප විශිෂ්ඨ නිර්මාණ කරුවා,සොදුරු සංවේදී මිනිසා, අප අතරින් නොව,මෙලොවින් සමුගත් බව දැනගන්ගට ලැබිණි.ඒ රටම තැතිගන්වමිනි.සෑම සංවේදී මිනිසෙකුගේම නෙතට කදුළක් උනමිනි.ඔහු මරණයට පත්වී ද..නැත. කුරිරු ලෙස මරා දැමීය. ඒ කලාකාමී හදවත පසාරු කළ ඒ වෙඩි උන්ඩය අන් කිසිවකුගේ නොව.මෙදා කලාව නැංවිය යුතුයි යැයි මැත දොඩවන, දේශප්‍රේමී ලේබලය ගසා ගනිමින් පාරම්බාන්නා වූ නිවටයින්ගේම බව රටම දන්නා රහසක් වී හමාරය.

ප්‍රේමකීර්ති ද අල්විස් මහා නිර්මාණකරුවාණෙනි,ඔබ නාමය අප හදවත් තුළ සදා අමරණීය වන්නේ,ඔබ මියැදුනත් ඔබේ සොදුරු නිර්මාණයන් කිසිදු දිනයක් නොමියෙන බැවිනි.එහෙවු නිර්මාණයෝ කිසිම නිටවයෙකුට විනාශ කල නොහැකි බැවිනි...!

ප්‍රේමකීර්ති ද අල්විස් නිර්මාණ කිහිපයක්....

වයලට්

දැන් අප එක වහලක් යටය
දරුවන් ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින් වලින් වැහිලා නොඉවසුම
සමුපකාරයෙයි සීමා රහිත බව
ගෙවල් කුලිය ද - ලයිට් බිල ද සුඛාන්තය!
වයලට් ! මට සමාවෙන්න !
කන්තෝරුවේ දී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට් ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.



"අපේ ඇත්තෝ"

ඕකා පරසුද්දා යෑයි

සිංහලයන් පරසුද්දා හා

ඇන කොටා ගත්හ

ඕකා දෙමලා යෑයි

සිංහලයෝ - දෙමලුන් හා

ඇන කොට ගත්හ

ඕකා යූන්පි කාරයා යෑයි

ඕකා ශ්‍රීලංකා කාරයා යෑයි

සිංහලයෝ - සිංහලයන් හා

ඇන කොට ගත්හ

දෙපැත්තෙම තුවාලකාරයන්

ඉස්‌පිරිතාලෙට ගියහ

ඉක්‌බිති සියල්ලෝම

දෙමළ දොස්‌තරවරයකුගේ

ප්‍රතිකාර ලැබ

පරසුද්දා හැදු බේත් තුවාලවලට දා ගත්හ

Monday, January 24, 2011

මඩවල එස්. රත්නායක නම් ඔහු...Madawala S. Rathnayake.



මඩවල එස්. රත්නායක නම් ඔහු ලාංකේය කලා කෙත පෝෂණය කලාවූ සුපුෂ්පිත පුෂ්පයකි.අප ඔහු හදුනාගන්නේ ලාංකේය සාහිත්‍යයට ඉමහත් මෙහෙවරක් කලාවූ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු ලෙසිනි.සොදුරු මිනිසෙකු ලෙසිනි.1929 පෙබරවාරි 05වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ,දඹදෙනි උඩුකහ දකුණු කොරලේ,මඩවල නම් ග්‍රාමයෙහි සිරිසේන රත්නායක නමින් උපන් ඔහු,ඔහුගේ භාවපූර්ණ කවියෙන්,කෙටි කතාවෙන්,නව කතාවෙන්,ගීතයෙන් ලක් කලා අඹරෙහි බැබළෙන තාරකාවක් බවට පත්වන්නේ නිතැතිනි.ඔහුගේ ජන්ම නාමය සිරිසේන රත්නායක වුවත්,කවුරුත් ඔහු හදුනාගන්නේ මඩවල එස්.රත්නායක ලෙසිනි.

ඔහුගේ පාසල් අවදිය පිළිබද සොයා බැලීමේදී, ඔහු ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය පිණිස ඇතුළුවන්නේ හම්බුළුව මිශ්‍ර පාසලටයි.ඉන් අනතුරුව ඔහුගේ කණිෂ්ඨ අධ්‍යාපන කටයුතු සිදු කරනුයේ කෑගලු විද්‍යාලයෙනි.පාසල්වියේ සිටම කාව්‍ය රචනය වෙත සිත යොමුකල ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා පිවිසියේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයටයි.මඩවල එස්. රත්නායකයන්ගේ කාව්‍ය නිර්මාණයක් පුවත් පතක පල නව විට ඔහු සොලොස්වැනි වියේ පසුවිය.මෙලෙස කාව්‍යකරනයෙහි යෙදුනු ඔහු 1946 වර්ෂයේ දී තම ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාෂයට පත් කලේය.පෙම් අමා,මාර යුද්ධය,හීන හතක් යන මේවා ඔහුගේ කාව්‍ය ප්‍රකාශනයන් අතර කිහිපයකි.ගුවන්විදුලි සංස්ථාවෙහි ළමා පිටිය වැඩසටහන එකල ඉතාමත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් විය.ඔහුද එම වැඩසටහන සමග සම්බන්ධවී සිටියේ මෙම අවදියේමය.

මින් ටික කලක් ගතවත්ම ඔහු ඔහුගේ වෘත්තීය දිවියට පාතබන්නේ පුවත්පත් කලාවේදියෙකු ලෙසිනි.ඒ 1950 වසෙර්දීය.ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියෙකු වූ ඔහු,දිණමිණ පුවත්පතෙහි තම කාර්යභාරය මැනවින් ඉටු කලහ.දිණමිණ පුවත්පතෙහි දෙවසරක් පමණ සේවය කරන ඔහු ඉන් අනතුරුව එක්වන්නේ ලංකාදීපයටයි.නමුත් 1954 වන විට ඔහු ඉන්ද අස්වීමට තීරණය කලහ.

ඔහු දිවියේ නව කතා සහ කෙටිකතා සාහිත්‍ය මෙහෙවර පිරික්සී‍මේදී අක්කර පහ නම් නව කතාව ඔහුගේ ප්‍රථම නවකතාව විය.කෙටි කතා සංග්‍රහය වනුයේ බුදු හිනාව නම් කෙටි කතා සංග්‍රහයයි. නොමල මල්,තවලම් කාරයෝ,සුවද පිරුණු අතීතයක්,උපන් දා සිට කරපු පවු ලෙස ඔහුගේ විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයන් කිහිපයක් දැක්විය හැකිය.

වසර හතරකට වැඩි පුවත්පත් දිවියට සමුදුන් ඔහුට මේ වනවිට ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් අංශයේ පුරප්පාඩුවක් වන බව දැනගන්නට ලැබුණි.ඔහුගේ දක්ෂතාවයන් මෙන්ම දේශීය සංගීතය පිළිබද වූ හසල දැනුමත් ඔහුට එම තනතුර ලබාගැනීමේදී උපකාරී විය.රත්නායකයන්ගේ සහජ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරගැනීමෙහිලා ගුවන්විදුලිය ඔහුට කදිම තෝතැන්නක් විය.සිංහල ජන සංගීතයෙහි ප්‍රගමනය වෙනුවෙන් කැපවුණු ඔහුගේ ජන ගායනා නමින් ගුවන්ගත් ගුවන්විදුලි වැඩසටහන පැසසුම්කාරී වීය.ඒ 1955 වර්ෂයයි.

නවි,කෙටි කතා,නව කතා පමණක්ම නොව ඔහු ගීත රචනයටද සමත්කමක් දැක්වූයෙක් වීය.ඔහුගේ ප්‍රථම ගීතය රචනා වන්නේ 1955 වසරේදීය.අමරදේවයන් හා එක්ව සිංහල ගීතයට නවමු අරුතක් පදනම වන්නේද මේ කාලයේදීමය.මින්දද හී සර,ස්වර්ණ විමානෙට,ඹඹරෙකු ආවයි යන අමරදේවයන්ගේ මිහිරි ස්වරයෙන් ගැයෙන අමරණීය පද මාලාවන් රත්නායකයන්ගේ තෙලි තුඩින් ගිලිහුණු විශ්වකර්ම නිර්මාණයෝය.

ලාංකේය ගීතය,කෙටි කතාව,නව කතාව බබළවමින් තම නිර්මාණ කාර්යයෙහි නිරත වූ මඩවල එස්.රත්නායකයන් 1997 ජනවාරි 07 වන දින සදහටම දෙනෙත පියා ගත්තේ තවත් පරම්පරාවන් සියයකට වුවද රසවිදින්නට වටිනා යමක් දායාද කරමිනි...