Friday, September 9, 2011

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -Sri Chandrarathne Manawasinghe.

කොළඔ කොටුවේ තුන්වන මහල් තලය. ඔහු එහි කවුළුවක් ලගට වී, නගරය මැද පිහිටි බෝ ගසක දළු කොළ වසන්තයේ සීත සුළගින් නටන අයුරු බලා සිටී.. තන තන තානෙනා- තන තන තානෙනා.. ඔහුට ඉබේටම කියැවිනි. ඔහු නගර මැද දකින බෝධි වෘක්ෂය මතින් තම පරිකල්පනය අවදි කරයි. අතීතයට පියමන් කරයි. සයවන සියවසේ සිද්ධාර්ථයන් බුද්ධත්වයට සපැමිණි නේරංජනා නදිය අසල ගයාවේ රමණිය බෝ රුක් සෙසවනට මනසින් පියමං කරයි..දුලි වලින් ගහන, නෙතර පීඩා ගෙනදුන් කර්කෂ නගරය දෙස බැල්මක් හෙළන කවියා නගර මධ්‍ය‍යේ ප්‍රිය දසුන් මවයි..
වැලිතල අතරේ - හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස - වැඩ සිට - බුදු වුණ දා
තිලෝ හිමි - මොක් සුව ලද මොහොතේ
සමාධී - භාවනා..
මහ බෝ වන්නමින් ඔබ සිත සැනසීමට සමත් ඒ කවියා 1913 ජූන් මස 19 දින රුහුණු ගිරුවා දනවුවෙහි උපන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යි. මානවසිංහයන් තම මූලික අධ්‍යපනය ලැබූයේ බෙලිඅත්ත ශ්‍රී පඥ්ඥානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙනි. 1924දී එතුමා පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයෙහි පැවිදි බිමට ඇතුළු විය. මේ කාලය තුළ එකල ප්‍රකට කවියෙකු වූ ජී.පී. පියදාස මහතා ඇසුරෙහි කාව්‍ය ශාස්ත්‍රය හා ප්‍රාචීන භාෂා පිළිබද ඉහළ දැනුමක් ලැබීය. ඉන් ටික කලකට පසු උපැවදි වූ ඔහු විවිධ වු අධිරාජ්‍ය පරිභව කිරීම් හේතුවෙන් සිරගත වීමටද ඔහුට සිදුවිය.
මානවසිංංහයන් වැඩි උනන්දුවක් දැක්වූයේ පුවත්පත් රචනයට යි. එයිනුත් පුවත්පත් තීරු රචනයට යි. වගතුග තීරු ලිපිය මෙරට පුවත් පත් පාඨක ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වීය. එය එකල සමාජය විනිවිද දුටු උපහාසාත්මක ගුණයෙන් යුතු වූවක් වීය. කාව්‍ය සහ ගිත රචනයෙහි විශේෂිත ඇල්මක් දැක්වූ ඔහු 19570දි කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක් පළ කරන්නට සමත් විය. එතුමන් විසින් රචිත මී කිරි, වෙසක් මිහිර, ඇත්ගාලේ දරු පෙම, මගේ රට, ගුරු ගෙදරට යන අතරමග ආදී වූ පද්‍ය බොහෝ ජනප්‍රිය වූ බවට අප බොහෝ දෙනා දනී. එමෙන්ම 1947 දී ලංකාදීප පුවත්පත ඇරඹීමත් සමග එහි කර්තෘ මණ්ඩලයට බැදුණූ එතුමා 1960 වන තුරුම එහි සේවය කලේය. 1962 දී ගොළු දැරිය නමින් කෙටි කතා එකතුවක් පාඨකයා වෙත පිළිගැන්විමට ඔහු සමත් වීය. 1955 දී ප්‍රථම සිංහල ගුවන් විදුලි නාට්‍යය වූ මනෝහාරි රචනා කල මානවසිංහයන් සේපාලිකා නමින් ළමා ගීත නාටකයක් ද නිර්මාණය කලේය. එලෙසින් සිංහළ සාහිත කෙත අස්වද්දන්නට සමත් වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1964 ඔක්තෝබර් 4 වැනි දින අප හැර ගියේය.

1 comment:

  1. ඇයි මේ වැඩේ මගදි නැවැත්තුවේ...?
    කාර්‍ය බහුල වුනාද? අපරාදේ සිංහල වෙබ් අවකාශයට හොඳ තොරතුරු ගොන්නක් ඔබ එකතු කරමින් සිටියේ..
    ආයේ ඉක්මනින් මෙය නැවත අරඹන්න ලැබේවායි පතමි

    ReplyDelete