Saturday, March 5, 2011

අබේවර්ධන බාලසූරිය නම් ඔහු..He is Abewardana Balasooriya..


මාගේ මේ දිගහැරුමත් සිංහළ ගීතය හැඩවැඩ කළ, රූමත් කළ, ගුණවත් තළ, ධනවත් කළ 70 දශකයේ කලා ලොවට පෑයූ තරු අතර තවත් එක් දිදුලන තාරකාවක් පිළිබදවයි. ඔහු ස්වශක්තියෙන් නැගී සිට, ලාංකේය කලා ක්ෂේත්‍රයේ අභිමානවත්, අධිශ්ඨානශීලී, උදාරතර සාර්ථක ගමනක යෙදුනු කලා කරුවකු වගේම ප්‍රතිපත්ති ගරුක සුහදශීලී මනුෂ්‍යයෙක්. ඒ විශිෂඨ ගායකයෙක්, චිත්‍රපට පසුබිම් ගායකයෙක් වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වූ ගායනවේදී අබේවර්ධන බාලසූරිය. මා එතුමා සිහිකරවන මේ මොහොත වන විටත් ඒ විශීෂ්ඨ හඩ පෞරුෂයකින් හෙබි ගායනවේදියා අප හැර ගොසින්. මෙලෙස මගෙන් ගිලිහෙන හැම අකුරකින්ම මගේ අහිංසක බලාපොරොත්තුව, ඒ විශීෂ්ඨ හඩ වෙනුවෙන් මල් මිටක් පුදන්නටයි.

අබේවර්ධන බාලසූරිය තරුණයා සිංහළ සංගීතක්ෂේත්‍රයට පිවිසෙන්නෙ 70 දශකයේ යොවුන් ගායකයෙකු ලෙසට.පසු කාලීනව විවිධ අරුත්බර තේමාවන් ඔස්සේ ගීත ගායනා කල ඔහු මුලින්ම ගීත ගායනයට පිවිසෙන්නෙ ප්‍රේම ගීත ගායනයෙන්.නමුත් කිව යුතුම කාරණය වෙන්නෙ ඔහු කිසිම දිනක අද සමහර පුහු මාධ්‍ය වලින් අපට අහන්නට සලස්සන බොල් හරසුන් ගී පද මාලාවන් ට තම හඩ භාවිතා නොකල වග. ඔහු තමන්ගෙ භාවපූර්ණ හඩ තුළින්, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුන්දරත්වය මනා ලෙස කියාපෑව. ඒ සදහා ඔහුට විශිෂ්ඨ ගීත රචකයන්ගෙ වගේම සංගීතවේදීන්ගෙ සහයත් නොමදව ලැබිල තිබෙනව. කලාකරුවකු සතු සමාජ වගකීම හරිහැටි තේරුමිගත් ඔහු ගායනය සදහා පදමාලා තෝරාගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වී තිබෙනව. ඔහු “ගීතය උසස් රසවින්දනයක් සදහාම භාවිතාකල යුතුය” යන්න දැඩිව පිළිගත් කළාකරුවෙක්.

ඔහුගෙ ජීවිත කතාව කියවපු මට සේකරයන්ගේ එක් කවියක් මතක්වුණා.
සිදාදියට එන්නට මට
බුද්ධිය නුබ තමයි එදා
පාර කියා දුන්නේ...

මම ඒ කවිය මෙතන සදහන් කරන්නෙ, අබේවර්ධන බාලසූරිය අපේ ගායකයානන්ගෙ ජීවිතයත් ඒ වගේමයි කියන්නට නම් නොවෙයි. අබේවර්ධන බාලසූරිය උපන්නෙ පිටිසර ගමක් වෙච්ච මුගුණුවටවන කියන ගමේ.ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා කොළඔට එනව.නමුත් ඔහු කිසිමදාක සල්ලි වලට කලාව විකුණපු කෙනෙක් නොවෙයි.ඔහු මිය යන තෙක්ම ඒ ප්‍රතිපත්තිගරුක බව රැක්ක කෙනෙක්. ඔහු කිසිම විටෙක ගමත්, ගමෙන් ගෙනා යහපත් ගතිගුණත් කොළඹදී විකුණා නොදැමූ යහපත් මනුෂ්‍යයෙක්.

මා ඔබට මුලින් සදහන් කලා ඔහු ගායනවේදියෙකු වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වග.ඔහු එලෙස කටයුතු කලේ ජාතික රූපවාහිනී ආයතනයෙ. “නන්දන වින්දන”, “අඳුන” එලෙස ඔහු නිෂ්පාදනයෙන් දායක වී ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ අති සාර්ථක වූ වැඩසටහන් ද්විත්වයක්.


සිය දිවියේ හෙවනැල්ලක් මෙන් ලග රැදෙමින් ශක්තියක් වූ ඇයගේ ආදරණීය බිරිද නිරංජලා සරෝජනී මහත්මිය ඔහු පිළිබද සුන්දර මතකයන් අවදිකරන්නේ කදුළු සලමිනි. සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද විඡේරත්න රණතුංග මෙන්ම ඔහුගේ බිරිඳගේ සොයුරියක්‌ වූ මල්කාන්ති, නිර්මලා මෙන්ම මනෝඡ් පීරිස්‌ වැනි කලා කරුවන්ගෙන්යුත් කලා පවුලට ඔහුත් අයත් වුණා. අබේවර්ධන බාලසූරිය කලා කරුවා බොහෝසේ පොත පත කියැවීමට ගිජුකමක් දැක්වූ අයෙක් වුණා.ඔහුගේ නිවසේ, පොත් රාශියකින් යුතු පුස්තකාලයක් ද තිබුණූ බව නිරංජලා සරෝජනී මහත්මිය ඔහු පිළිදබ මතකයන් තුළ සදහන් කරනව.

අබේවර්ධන බාලසූරිය ගායන වේදියා,කලා කරුවා, සුන්දර මිනිසා සුවහසක් ලාංකේය රසික සිත්සතන් තම මියුරු හඩින් පිනැවූ බව නොරහසක්.අප කාගේත් අහිංසක බලාපොරොත්තුව ඔහු යලිත් අප අතරම උපදීවා යන්නයි.යලිත් අප අතරම ඉපිද,වත්මන් බොල් හරසුන් ගීයට තිත තබන්නට ශක්තියක් වේවා යන්නයි.මේ කෙටි සටහන ඒ සොදුරු මිනිසා වෙනුවෙන් උපහාරයක්ම වේවා !

“ගීතය උසස් රසවින්දනයක් සදහාම භාවිතාකල යුතුය”

2 comments: